අධිකරණ තීන්දු වලින් ආර්ථික අර්බුධ වලට විසදුම් සෙවිය නොහැක

0
191

මේ වන විට ලංකාවේ පවතින්නේ විපක්ෂයට වාසිදායක දේශපාලන පරිසරයකි. නමුත් එම තත්වය වැඩි කල් පවතින්නේ නැත. දවසින් දවස රටේ ආර්ථිකය හොඳ අතර හැරෙමින් පවතිම ඊට හේතුවය. ඒ අනුව ඉදිරියේදී විපක්ෂය දුර්වල වී ආන්ඩු පක්ෂය ශක්තිමත් වීමට නියමිතය. මේ හේතුව නිසා ජවිපෙ සහ සජබ හැකි ඉක්මනින් මැතිවරණයක් ලබා ගැනීමට වෙහෙසෙයි.

මෙවර මැතිවරණයට යන වියදම රු බිලියන 20 ක් ලෙස ඇස්තමේන්තු කොට ඇත. රු බිලියන් 20ක් යනු ලංකාවෙ ඇතැම් අමාත්‍යංශ වලට වසරකට වෙන් කරන මුදලකි. තවද ලංකාව තවමත් බංකොලොත් රටකි.

පසුගිය මාසයේ රජයේ ආදායම රු බිලියන 141කි, වියදම 154 කි .රජය වැඩිම මුදලක් වැය කරන්නේ ණය හා පොලී ගෙවීමටය.දැන් ලංකාව ණය වලට පොලු තබා ඇති රටකි. ණය නොගෙවන පසුබිමක පෙබරවාරි හිගය බිලියන 13කි . මේ වන විට රෝහල් වල ඖෂධ හිගයක් පවතින අතර ඖෂධ ගෙන්වීමට රු බි 22 අවශ්‍ය වී ඇත .

මැතිවරණය සඳහා යන වියදම ජනගහනයෙන් බෙදූ කළ එක් පුද්ගලයෙකු වෙනුවෙන් දරණ වියදම රු 1000 කට ආසන්න වෙයි.ඒ අනුව ලංකාවේ සෑම පවුලකටම රු 5000 කට ආසන්න මුදලක් මැතිවරණ වියදම් ලෙස දැරීමට සිදුවෙයි.මක් නිසාදයත් එම මුදල් රනිල්, සජිත් හෝ අනුර සිය අතින් ගෙවා දමන්නේ නැත. සජිත් සහ අනුර මැතිවරණයක් ඉල්ලා සිටින්නේ ජනයාට ඇති ආදරයක් නිසා නොව සිය බල ලෝභීත්වය නිසා බව තේරුම් ගත යුතුය

ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණයට බලපාන නියෝගයක් පැනවූයේය. එනම් මැතිවරණය සඳහා අයවැයෙන් වෙන් කල මුදල් වෙනත් කටයුත්තක් සඳහා නොයොදවන ලෙස නොයෝග කළේය. ඉහත පෙන්වා දුන් ආකාරයට පසුගිය මාසයේ රජයේ ආදායම සහ වියදම අතර බිලියන 13ක හිඟයක් ඇත. ඒ අනුව මැතිවරණය සඳහා මුදල් ලබා දෙන්නේ නම් ඒ සඳහා මුදල් ප්‍රින්ට් ගැසිය යුතුය.

කෙසේ වුවද, IMFආයතනය මුදල් ප්‍රින්ට් කිරීම සම්බන්ධයෙන් ලංකාවට තහනමක් පනවා ඇත. එම තහනම නොතකා මුදල් ප්‍රින්ට් කළා යයි සිතමු. මුදල් ප්‍රින්ට් කළද මැතිවරණ සඳහා අවශ්‍ය පෙට්‍රල් , ඩීසල්, විදුලි බලය වැනි භෞතික ද්‍රව්‍ය ප්‍රින්ට් කළ නොහැක. ඒවා ඩොලර් ගෙවා පිට රටින් ආනයනය කල යුතු වෙයි.

මහපාරේ අරගල කොට විරෝධතා දක්වා දේශපාලන අර්බුධ වලට විසදුම් සෙවිය හැක .නමුත් ලංකාවේ ඇත්තේ ආර්ථික අර්බුධයකි . ආර්ථික අර්බුධ වලට උද්ගෝෂණ වලින් විසදුම් සෙවිය නොහැක. අධිකරණ තින්දු වල තත්වය මීට සමානය .

අධිකරණ තීන්දු වලින් දේශපාලන අර්බුධ වලට විසදුම් සෙවිය හැක . නමුත් ආර්ථික අර්බුධ වලට විසදුම් සෙවිය නොහැක . ආර්ථික අර්බුධ සම්බන්ධයෙන් අධිකරණය මැදිහත් වුවහොත් ඉන් සිදුවන්නේ අර්බුධය උග්‍ර වීමය.