අන්ධ, ගොළු , බිහිරි ජාතියේ හෙට දවස ?

0
197

ලංකාවේ දේශපාලන පක්ෂ කිසිවක් ආර්ථික අර්බුධයට තුඩු දුන් සැබෑ හේතුව ගැන කතා කරන්නේ නැත. කාලයකට ඉහතදී ආර්ථික අර්බුධයට හේතුව උතුරේ යුද්දය යැයි කීහ. නමුත් නොසිතූ විරූ ලෙස දශක තුනක් පුරා පැවැති උතුරේ යුද්ධය අවසන් විය. ඒ අනුව ආර්ථික අර්බුධයට හේතුව යුද්ධය නොවන බව ප්‍රත්‍යක්ෂ විය.

යුද්ධය ඉවර වීමත් සමග ආර්ථික අර්බුධයට හේතුව ලෙස අලුත් හේතුවක් ඉදිරිපත් කළ යුතු විය. ඒ අනුව ආර්ථික අර්බුධයට හේතුව දේශපාලනඥයනගේ සොරාකෑම බව කීහ. ලංකාවේ ජනමාධ්‍ය එම කරුණ අන්ධ ලෙස සමාජ ගත කළහ. ඔවුන් සමාජගත කළ අතැම් සිදුවීම් ආන්ඩු පෙරලන දේශපාලන සුනාමි බවට පත් විය . ලංකාවේ ආර්ථික අර්බුධයට හේතු ලෙස ඔවුන් ඉදිරිපත් කළ ඊනියා කරුනු කිහිපයක් පහත පරිදිය

1. රාජපක්ෂලාගේ සොරකම්
2. චීණ ණය උගුලට අසුවීම
3. මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව (2015-16)

ලංකාව බංකොලොත් වූයේ ඉහත කිසිවක් නිසා නොවේ. ලංකාව බංකොලොත් වූයේ සිස්ටම් එක අවුල් නිසාය. රට බංකොලොත් වීමට සැබෑ හේතු 3කි.
1. රජයේ ආදායම මෙන් තෙගුණයක් වියදම් කිරීම
2. නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවට සුභසාදන ආර්ථිකයක් පවත්වාගෙන යාම
3. රාජ්‍ය සේවය පිලිකා බවට පත් වීම

දියුණු රටවල මිනිසුන් රාජ්‍ය අයවැය ඉදිරිපත් කරන විට වියදම්වල ඵලදායීතාව විමසා බලයි. එනම් ව්‍යාපෘතිවල ප්‍රතිලාභ එනම් ROI සහ Pay back සංකල්ප ගැන දැඩිව සොයා බලයි. ලංකාවේ මිනිසුන් රාජ්‍ය අයවැය ඉදිරිපත් කරන විට විමසන්නේ බඩු මිල අඩු කිරීම, පඩි වැඩිකිරීම වැනි දේ පමනි.

මැතිවරණයකදී තත්වය මීට නොදෙවෙනිය.ජනයා පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශණ තුල සොයා බලන්නේ සහනාධාර ගැන පමනි. මිනිසුන්ට සහනාධාර දීමට, දේශපාලකයන් අතින් මුදල් වියදම් කරන්නේ නැත. ඒ සඳහා වැය කරන්නේ විදේශ ණය සහ බදු මුදල්ය. අප ආයෝජනය සදහා යෙදවිය යුතු මුදල්, කෑමට බීමට වැය කරන ජාතියකි.

ලංකාවේ දේශපාලනඥයන්ට වඩා රාජ්‍ය සේවය දූෂිතය. රටේ බලය හසුරුවන දේශපාලනඥයන් ප්‍රමාණය 1000 කට අඩුය .නමුත් ලංකාවේ රාජ්‍ය සේවය ලක්ෂ 16 කට ආසන්නය. ඉන් 35000 කට පමන සුපිරි වරප්‍රසාද හිමිය .දේශපාලකයන් සිදුකරන සොරකම් මෙන් දහස් ගුණයක සොරකම් රජයේ සේවකයන් කරයි

දේශපාලකන්ටද හොරකම උගන්වන්නේ රාජ්‍ය සේවකයන්ය. දේශපාලනඥයන් විසින් යම් වරදක් කරයි නම් ඒ සම්බන්ධව රාජ්‍ය සේවය එනම් පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව නිසි ක්‍රියාමාර්ග ගත යුතුය. නමුත් එම ආයතන දෙක අන්ත දූෂිත ආයතන බවට පත්ව ඇත.

ඇත්ත වෙනුවට නැත්ත සමාජ ගත වීම නිසා මහ බැංකු බැඳුම්කරය ආන්දෝලනාත්මක සිදු වීමක් විය. එවක නීතිපති දප්පුල බොරුව සමාජගත කිරීමේ ප්‍රධාන නලුවා බවට පත් විය. බැඳුම්කර විකිනීම ව්‍යාපාරික ගණුදෙනුවකි. පිනට ණය දෙන කිසිවෙක් නැත. මේ නිසා වඩා වැදගත් වන්නේ ණය ගැනීමේ ක්‍රියාපරිපාටියේ පාරීශුද්ධත්වයට වඩා, ලබා ගත් ණය මුදල ක්‍රමවත්ව වියදම් කිරීමය.

අවාසනාවට සියලු දෙනා ණය ගැනීමේ ක්‍රියාපටිපාටිය ප්‍රශ්න කළහ.(ණය ගැනීමේ පටිපාටියට සම්බන්ධවූ රනිල් – රවී නරක මිනිසුන් විය) ලබා ගත් ණය වියදම් කළ ආකාරය ගැන කිසිවෙක් සෙවූයේ නැත. (ලැබුන ණය මුදල් ටික සොරා කෑ මලික් සමරවික්‍රම , කබීර් හෂීම් සහ රජයේ නිලධාරීන්  හොද මිනිසුන් විය )

අප ලංකාවේ ආර්ථික අර්බුධයට හේතුව උතුරේ යුද්ධය යයි වසර 30 ක් පුරා විශ්වාස කළ ජාතියකි. දැන් යුද්ධය අවසන් වී ඇත . අප දැන් ආර්ථික අර්බුධයේ මූලය ලෙස වෙනත් හේතුවක් සොයා ගෙන ඇත. එනම් ආර්ථික අර්බුධයට හේතුව දේශපාලකයන්ගේ සොරකම් බව දැන් කියයි. මේ මිත්‍යාවෙන් අප ගැලවෙන්නේ කවදාද ?