හෙට පාර්ලීමේන්තුවේදී මන්ත්‍රීවරු නන්දලාල්ගෙන් ඇසිය යුතු ප්‍රශ්න ටික මෙන්න

0
504

හෙට මහ බැංකු අධිපති  මන්ත්‍රීවරුන්ට වැඩ මුලුවක් පැවැත්වීමට් නියමිතය . මෙය එක්තරා ආකාරයකට මාරයා වෙදා ලෙස වෙස්වලා ගැනීමකි.එහෙයින් කමල් ගුනරත්නගේ නන්දිකඩාල් ජාතකයට සවන් දුන් ලීලාවෙන් නොසිට, ප්‍රශ්න කිරීම් ‍රැසක් කල යුතුව ඇත

මුදල් අච්චු ගැසීම පහසු කටයුත්තකි  . නමුත් භාන්ඩ  හා සේවා අච්චු ගැසීම එලෙස කළ නොහැක . එනම් රු 5000 නෝට්‍ටු අච්චු ගැසුවද පරිප්පු සීනි අච්චු ගැසිය නොහැක. මේ නිසා වැඩිපුර සල්ලි අච්චු  ගැසූ විට ඉල්ලුම වැඩි වෙයි. භාන්ඩ වලට ඇති ඉල්ලුම වැඩි වී මිල ඉහල යයි. මේ ආකාරයට  භාණ්ඩ මිල ඉහල යාම උද්ධමය ලෙස හදුන්වයි. පසුගිය කාලයේ මහ බැංකුව  දරුණු ලෙස මුදල් අච්චු ගැසුවේය.

රජය මුදල් අච්චු ගැසූ විට විවිධ ක්‍රම ඔස්සේ එවා ජනයා අතට පත් වෙයි.  ජනයා එම මුදල් වලින් පෙට්‍රල්, සීනි, කිරි, විදුලි උපකරණ මිලදී ගැනීම කරයි . මේවා ලංකාවට ගෙන්වන්නේ ඩොලර් ගෙවාය . රුපියල් අච්චු ගැහුවද ඩොලර් අච්චු අච්චු ගැසිය නොහැක. එනයින් රටේ  ඩොලර් හිගයක් නිර්මානය වෙයි. එය පතුල නොපෙනෙන  ආර්ථික අර්බුධයකින්  කෙලවර විය

ලංකාවේ ආර්ථිකය අර්බුධයට විසදුම් ලෙස මහ බැංකුවේ බරපතල ක්‍රියා මාර්ග 2 ගත්තේය .

1. පොලී අනුපාත ඉහල දැමීම
2. ආනයන සීමා කිරීම

පොලී අනුපාත ඉහල දැමීම ගැන තේරෙන භාෂාවෙන් කතා කරමු.

මිනිසුන්  වෙළද පොලින්   භාන්ඩ මිලදී ගැනීම අධෛර්ය කොට එම මුදල් ඉතුරුම්  සදහා යොමු කර ගැනීම මින් බලාපොරොත්තු වෙයි.  එනම් වැඩි පොලියක් ලබා දී තැන්පතු වැඩි කර ගැනීමට උත්සාහ කිරීමය . මේක ආර්ථික විද්‍යාවෙ එන  තියරියකි.

මෙය තවත් සරලව කිව හැක.   එනම්  පෙට්‍රල්, කිරි, ඉලෙට්‍රොනික් උපාග මිලදී ගැනීම අධෛර්ය කොට  එම මුදල් බැංකුවේ තැන්පත් කිරීම සඳහා  පෙළඹවීමය.  ( සල්ලි අච්චු ගැසීමේ රිවස් ඇක්ෂන් එක.) මෙය ˜Cool off the economy˜ ලෙස ආර්ථික විද්‍යාවේ එන න්‍යායකි.

ඔය න්‍යාය මහ පොලොවේ වැඩ කරයිද ?. මේ වන විට බැංකු තැන්පතු සදහා  පොලිය  17 % කි. නමුත් උද්ධමය 58 %  කි.  ඒ කියන්නේ බැංකුවේ සල්ලි දැම්මොත් ලැබෙන වාසිය 17 %කි , උද්ධමය නිසා වෙන පාඩුව 58%කි. එවැනි තත්වයක් තුල මොළේ ඇති එකෙක් බැංකුවේ මුදල් තැනපත් කරන්නේ නැත .  ( වාහනයක්, ඉලෙක්ට්‍රොනික්ස්  වැනි දෑ  මිලදී ගැනීම  වාසියි. )  එනම් Cool off the economy˜ තියරිය අසාර්ථකය

පොලී අනුපාතය වැඩි කිරීම අර්බුධය උත්සන්න කිරීමට හේතු වෙයි. මේවන විට බැංකු ණය දෙන්නේ 28 % පමන ගිණි පොලියකටය .මොළේ ඇති එකෙක්  ගිණි පොලියයට ණය ගෙන ව්‍යාපාර පටන් ගන්නෙ නැත .

එමෙන්ම පොලී අනුපාතිකය ඉහළ දැමීම හරහා  බැංකුවෙන් ලබාගන්නා අයිරා  (OD) පහසුකම් වලට අධික පොලියක් ගෙවීමට සිදු වෙයි. එය ව්‍යාපාර කඩාවැටීමට හේතුවකි.

බැංකු සහ මූල්‍ය ආයතන  ලාභ ලබන ප්‍රධානම මාර්ගය ණය දීමය. පොලිය වැඩි වූ විට මිනිස්සු ණය ගැනීම අඩු කරයි. එය බැංකු පද්දතිය කඩා වැටීමට හේතුවකි

දැන් අපි  ආනයන සීමා කිරීම  ගැන තේරෙන භාෂාවෙන් කතා කරමු.

ශ්‍රී ලංකාවේ  ආනයන කාණ්ඩ තුනකි. එනම් පාරිභෝගික භාණ්ඩ, අන්තර් භාණ්ඩ, හා ආයෝජන භාණ්ඩ ය.  ඉන් විශාලම පංගුව අන්තර් භාන්ඩ වෙයි . එය 57 %කි.රෙදිපිළි හා රෙදිපිළි උපාංග, ලෙදර්, ලෝහ වර්ග, රසායනික , පොහොර මීට උදාහරණ වෙයි.

මෙම භාන්ඩ නිෂ්පාදන සදහා යෙදවුමකි. මෙම භාන්ඩ වලට සීමා පැනවීම රටේ නිෂ්පාදනය අඩු විමට හේතු වෙයි

මෙම භාන්ඩ වලට සීමා පැනවීමෙන් ව්‍යාපාර විශාල ප්‍රමණයක් වැසීයාමට හේතු විය. තවත් අතෙකින් අපනයන ආදායම අඩු වීමට හේතු විය

රට විශාල අර්බුධයකට ලක්ව ඇති විටක න්‍යායන් මත පදනම් වී ක්‍රියා කිරිම භයානකය .ලංකාවේ ආර්ථිකය කඩා වැ‍ටුනේ  ආර්ථික න්‍යායන් ගෙඩි පිටින් ඇප්ලයි කිරීම නිසාය

මහ බැංකු අධිපතිගෙන් විමසීමට තවත් ප්‍රශ්න කිහිපයක් ඇත 

1.  විදේශ ණය ගෙවීමට නොහැකි බව මාධ්‍යට ප්‍රකාශ කිරීමට පෙර පාර්ලීමේන්තුව දැනුවත් නොකළේ ඇයි?

2. රාජය ආයතන වාණිජ බැංකු වෙතින් ලබා ගත් ණය පැහැර හැර තිබෙනවා නේද ?

3. ක්ෂනික මිලදී ගැනීම නිසා විදේශ විනිමය මිලියන ගණනින් අහිමි වනවා නේද ?සැලැස්මකට අනුව රටට අවශ්‍ය භාන්ඩ මාස කිහිපයකට පෙර ඇණවුම්  නොකරන්නේ ඇයි ?

4. පසුගිය කාලය පුරාවට මහ බැංකුව විශාල පිරිවැයක් යොදා ඩොලරයට සාපේක්ෂව රුපියල පාලනය කළේය . අප තවමත් එම ක්‍රමය පවත්වාගෙන යන්නේද ?

5. රජය විසින් දේශීය සැපයුම් කරුවන්ට  ගෙවීමට ඇති හිග මුදල කොපමනද  ?

6. EPF,ETF ගිණුමෙන් රජය කොපමන මුදලක් ණය ගෙන තිබේද ?  එම අරමුදල් සුරක්ෂිතද ?

7. පොලී අනුපාත ඉහළ දැමීම කොටස් වෙළෙඳපල කෙරෙහි අහිතකර ලෙස බලපෑම සාමාන්‍ය තත්වයකි, ලංකාවේ තත්වය කෙබදුද?