විරංජන් තාඹුගල – තක්කඩි දේශයේ රජවූ අළුත්ම තක්කඩියා

0
200

ලංකාවේ ජනයා ස්වශකතියෙන් දියුණු වනවාට වඩා අනුන්ගේ පහනින් බුදු වීමට කැමතිය. මේ නිසා ඕනෑම තක්කඩියෙකුට ඔවුන් ‍රැවටිය හැක. වරෙක ඔවුන් වංචාකාර ධම්මික වෙදාගේ ඊනියා කොරෝනා ඖෂධය බීමට කි.මී 4 පෝලිමේ සිටියහ.සිරගෙදර යැවිය යුතු තක්කඩි, පාර්ලීමේන්තු යැවූහ. ක්ලබ් වසන්ත, පරමාදර්ශී චරිතයක් කළහ.

දැන් මෙම ලැයිස්තුවට තවත් අයෙක් එක්වී ඇත.අවුරා ලංකා නමින් ව්‍යාපාරයකට මුවා වී ජනයා රවටන මොහුගේ නම විරංජන් තාඹුගල වෙයි.මෙම තක්කඩියා පිළිබදව මීට පෙර ලංකා ටෲත් , චාන්‍යා හේරත් සහ ලංකා ඊ නිවුස් විශේෂ හෙළිදරව් ‍රැසක් සිදු කොට ඇත.

චාන්‍යා හේරත් ලියූ ලිපියට අනුව තාඹුගල නම ආරූඩ කරගත් එකකි. වෛද්‍ය වරයෙක් ලෙස තමා හඳුන්වා ගත්තද මොහු බටහිර වෛද්‍යවරයෙකු නොවේ, ආයුර්වේද සභාවේ ලියාපදිංචි වෙදෙකුද නොවේ, වෙදකම පරම්පරාවෙන් උරුමවූ අයෙකුද නොවේ.

මොහු කියන අන්දමට ඔහුගේ වත්කම ඇ.ඩො.බ් 15 කි . ( ධම්මික පෙරේරාටත් වැඩි වත්කමකි). නමුත් රජයට ශතපහක බදු ගෙවන අයෙකු නොවේ, මොහු පාසැල් අධ්‍යාපනයෙහිලා මුළුමනින්ම අසමත් වුවද, ජනයා ‍රැවටීමෙහිලා මහාචාර්ය කෙනෙකි.

ලංකා ටෲත් වෙබ් අඩවියට සජීව චාමිකර ලියූ ලිපියට අනුව විරංජන්, රාජාංගනය ප‍්‍රදේශයේ රූපවාහිනී හා ගුවන් විදුලි යන්ත‍්‍ර අලූත්වැඩියා කළ අයෙකි. එකල්හි නිධානයක් ගැනීමට ගොස් අත්අඩංගුවට පත්ව කාලයක් මීගමුව බන්ධනාගාරයේ සිට ඇත. මීට අමතර ව මුදල් වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ සිට ඇත. 2021 වසරෙදී මොහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇ.ඩො.මිලියන 783 කෝමාරිකා ව්‍යාපෘතියක් පෙන්වා වගා බිම් අක්කර විශාල ප්‍රමාණයක් ලබාගෙන ඇත.කැබිනට් පත්‍රිකාවකින් ඉඩම් පැවරීම සඳහා මැදිගත්වී ඇත්තේ බැසිල් රාජපක්ෂ සහ එස්.එම් චන්ද්‍රසේනය(එම කැබිනට් පත්‍රිකාව මීට අමුනා ඇත)

ලංකා ඊ නිවුස් ලිපිය තුලද ඉහත කරුනු වැඩි විස්තර සහිතව ලියා ඇත . එම කරුණු පිළිබදව නැෂනල් ඇලට් සොයා බැලූ අතර ඒවා සත්‍ය බව තහවුරු විය. අද නැෂනල් ඇලට් විශේෂ හෙළිදරව්වද මොහු පිලිබදවය. අප කියන කරුනු වල සත්‍ය අසත්‍ය තාව ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් මැන බැළිය හැක. එම කරුනු පහත පරිදිය.

1. මොහු කියූ ඇ.ඩො.මිලියන 783 කෝමාරිකා ව්‍යාපෘතිය අසද්ධ බොරුවකි. ඉඩම් පවරා වසර 2කට ආසන්න කාලයක් ගතවුනද, මේ දක්වා එකදු කෝමාරිකා පැළයක් සි‍ටුවා නැත.

2. මෙම ඉඩම් පැවරීම සිදු කළේ 2021 වසරෙදීය . 2021 වන විට කෝමාරිකා ආශ්‍රිත නිෂ්පාදන සඳහා මුළු ලෝකය තුලම තිබූ වෙළද පොළ පංගුව ඇ.ඩො මිලියන 600ට අඩුය. එවැනි තත්වයක් තුල කිසිවෙකු කෝමාරිකා ව්‍යාපෘතියක් සඳහා ඇ.ඩො.මි 783ක් ආයෝජනය කරන්නේ නැත.

3. විරංජිත් තාඹුගල පසුගියදා නෙත් FM ගුවන්විදුලියට සම්මුඛ සාකච්ඡාවක් දුන්නේය. එහිදී තමන්ට ඇමෙරිකන් ඩොලර් බිලියන 18 ක් වටිනා පේටන්ට් බලපත්‍රයක් ඇති බව කීවේය. එය ඇල්සයිමා රෝගය සඳහා තමා නිපදවූ ඖෂධයක් සදහා බව ඔහු කීවේය.එය විකුනා ලංකාවේ විදේශ ණය පියවිය හැකි බව ඔහු කීවේය.නෙත්FM අමන මාධ්‍යවේදීන් විරංජන්ට ඩෑෂ් ගැසීමට බෝලය එසවූවා මිස ඔහුගේ තක්කඩිකම් ගැන වචනයක් විමසුවේ නැත

4. ඇල්සයිමා (Alzheimer) ස්නායු සම්බන්ධ රෝගයකි. එම රෝගයට ගොදුරු වන ප්‍රමාණය ඉතා සීමිතය. අද වන විට ඇල්සයිමා රෝගය සඳහා පවතින ඖෂධ වෙළද පොල පංගුවේ සමස්ථ වටිනාකම ඇ.ඩො.බි 1.5 කි. මේ නිසා කුමන ඖෂධයක් නිපදවුවද ඒ සඳහා වන පේටන්ට් බලපත්‍රය විශාල වටිනාකමකට විකිනිය නොහැක.

5. තවද ඇමෙරිකානු වෛද්‍ය වාර්තා අනුව ඇල්සයිමා රෝගය නිට්ටවට සුව කරන ඖෂධයක් මේ දක්වා කිසිවෙකු විසින් සොයාගෙන නැත.

6. මුළු ලෝකයටම වැඩ දායි wifi තාක්ෂනයයට අදාල පේටන් බල පත්‍රයේ වටිනාකම ඇ.ඩො මිලියන 1.6කි)
තාඹුගල තක්කඩියා ඇ.ඩො බි 15 ක පේටන් බලපත්‍රයක් තමන්ට හිමි බවට කරන ප්‍රකාශය අසත්‍ය බව තේරුම් ගැනීමට මෙම කරුනු ප්‍රමාණවත්ය

7 . විරංජිත් තාඹුගලට අයත් ලියාපංදි කිසිදු ව්‍යාපාරයක් ඇමෙරිකාව තුල නැත.ඇවුරා ලංකා වෙබ් අඩවියේ Aura International LLC , US based company නමින් ව්‍යාපාරයක් ගැන සඳහන් වුවද එහි ලිපිනයක් නැත.

8. ඇමෙරීකාවේ ව්‍යාපාර හවුල්කරුගේ නම වෝල්ටර් ජයසිංහ බව සඳහන් කර ඇත. වෝල්ටර් ජයසිංහද විරංජන්ට නොදෙවෙනි තක්කඩියෙකි. මොහු තිළිනි ප්‍රියමාලි සහ ජානකි සිරිවර්ධන මෙහෙයවූ ජාවාරමට සමබන්ද අයෙකි.

චින්තනය මිනිසා සහ තිරිසනා වෙන් කරන ප්‍රධාන බෙඳුම් රේඛාව වෙයි. සරු නිසරු දෙය තේරුම් ගැනීමේ බුද්ධියක් මිනිසාට හිමිය . නමුත් මෙරට ජනයා නිසරු දේ සරු ලෙස දකින අභාග්‍යවත් පිරිසකි