විදුලි අර්බුධයට ජවිපෙ දුන් විසදුම විමසා බලමු !

0
307

රටේ ආර්ථිකය හැසිරවීමෙහිලා අප අසාර්ථකය .එහි ප්‍රතිඵල ලෙස ජනයාගේ සුභ සිහින ඛේදවාචක බවට පත්වී ඇත. අපට මේ අවාසනාවන්ත  ඉරණම අත්වූයේ  බටහිර කුමන්ත්‍රණ නිසා නොව අපගේම මිත්‍යාඇදහිලි නිසාය .

ජනතාව මුලා කිරීමේ හැකියාව අතින්  ධනවාදී පක්ෂ වලට වඩා වම්මු ඉදිරියෙන් සිටියි.  රතු තොප්පි සහ දේශප්‍රේමි සටන් පාඨ රටට කර ඇති  විනාශය අපමණය.

අතීතයේ මුඩු බිමක් වූ  සිංගප්පූරුව  වෙළඳ පුරවරයක් ලෙස නැගී සිටියේ නිවැරදි ප්‍රතිපත්ති හේතුවෙනි.  අපේ රටේ ඇතිවූ වැඩ වර්ජන, ජනසතුකරනය  වැනි කාලකන්නි  ව්‍යාපෘති සිංගප්පූරුවට ආශිර්වාදයක් විය.50 දශකයේදී ලංකාවේ දියත් වූ වැඩ වර්ජන නිසා  වරාය සේවාව  සිංගප්පූරුව වෙත විතැන් වූ අයුරු  ලී ක්වාන්යූ ලියූ පොත් තුල මනාව පැහැදිලි කර ඇත.

60 දශකයේ වම්මු  ජනසතුකරණය නම් කාලකන්නි ව්‍යාපෘතියක් ගෙන ආවේය.   ඒ සමගම ෂෙල් සමාගම් ඇතුළු බලශක්ති සමාගම් ගණනාවක් ලංකාව හැර ගියේය .  අගතියට පත් එම  සමාගම් ලීක්වාන්යූ විසින් රතු පලස් එලා පිළිගත්තේය. අද අප එදා එලවා දැමූ  සිංගප්පූරු සමාගම්වලින් තෙල් මිලදී ගන්නා රටකි

70 දශකයේදී රටවල ආර්ථික විවෘත්ත කරන විට වම්මු මෙරට ආර්ථිකය සංවෘත කිරීමට බල කළේය.සාපේක්ෂ වෙළද වාසිය අමතක කළේය. නිෂ්පාදනයේ පිරිවැය නොසලකා හැර සෑම දෙයක්ම මෙරට නිෂ්පාදය කිරීමට උත්සාහ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය වෙමින් තිබූ ලෝකයේ අප තනි වූයේය.

80 දශකයේ ආර්ථිකයේ වෙළදපොල ආර්ථිකය හඳුන්වා දුන්නද වම්මුන්ගේ සන්නද්ධ අරගල නිසා සංවර්ධනය අඩාල විය. මෙරට ඇතිවූ කැරලි කෝලාහල නිසා ආයෝජකයන් මැලේසියාව, තායිලන්තය,වියට්නාමය වැනි රටවලට ඇදී ගියේය.

90 දශකයෙන් පසුවද වම්මුන්ගේ බලපෑම සුළුප‍ටු නොවීය.  සුභසාදන ආර්ථිකයක් පවත්වාගෙන යාමට ඔවුන් බල කළහ. වෙළදපොල කේන්ද්‍ර කොටගත් නිෂ්පාදන ආර්ථිකයට ඉඩක් නොලැබුණි.

ඒ අනුව බලයට පත්වූ සෑම රජයක්ම ගිනි පොලියට ණය ගෙන මෙරට ජනයාට සහනාධාර දුන්හ . ඊනියා සුභ සාදන ව්‍යාපෘති වලට මුවාවී  මුවාවී දේශපාලකයන්ද සොරකම් කළහ.

කොරෝනා වසංගතය  සමග මෙරට ආර්ථිකය අර්බුධයට ලක් විය . නමුත් එය තාවකාලික එකක් විය. විදේශයකින් ණයක් ගෙන අර්බුධයෙන් ගොඩයාමට හැකියාව තිබුණි.නමුත්  රට බංකොලොත් යයි ප්‍රකාශ කිරීම නිසා ණයක් ගැනීමට තිබූ අවස්ථාව අහිමි විය. අප ඊනියා දේශප්‍රේමය නිසා විනාෂ වූ රටකි.

මේ වනවිට ලංකාවේ බලශක්ති අර්බුධයක් ඇත . නමුත් එය තාවකාලික එකකි. රන්ජන් ජයලාල්, තෙල්, වරාය සහ විදුලිය යන අංශ වල ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරුය. මොහු පසුගිය පාර්ලීමේන්තු මැතිවරණයේදී, ජවිපෙන් තරඟ කළ අයෙකි.

ඊයේ මොහු රටේ විදුලි අර්බුධයට පිළියමක් දුන්නේය . විදුලි බිල්  නොගෙවන ලෙසත් ඔවුන් විදුලිය විසන්ධි කිරීම සදහා  නොපැමිනෙන බවත් කීවේය.

මෙය විදුලි අර්බුධයට ජයලාල් දුන් විසදුම නොව ජවිපෙ දුන් විසදුම විය හැක.ජවිපෙ ප්‍රතිපත්ති ගැන බුද්ධිමත් ජනයා අවධියෙන් සිටිය යුතු කාලය එළඹ ඇත